Monday, August 7, 2017



2 වෘෂභ ලග්නය  2017 නොවැම්බර්

වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වශයෙන් සැලකෙන සිකුරු ග්‍රහයා ලග්නයෙන් 6 වැන්නට ගමන් ගන්නේ ඔක්තෝබර් 2 දාය. එතැන් සිට විශේෂ සරස්වතී යෝගයක් උදා කරමින් බලවත් වන සිකුරු ග්‍රහයා ගුරු සමඟ සංයෝගයක් ද ලබන කාල සීමාවකි.

රැකියාව හා ආර්ථිකය
රැකියා ක්ෂේත්‍රය තුල යම්කිසි වෙනසක් හෝ යහපත් ප්‍රවර්ධනයක් මේ කාලය තුල සිදු විමට අවකාශ ඇත. ඇතැම්විට ස්ථාන මාරු වීමක් හෝ පදිංචියේ වෙනසකට ගමන් කළ හැකි මේ කාලය තුල විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට ද යහපත් තත්වයක් බලපායි. සෙනසුරු ග්‍රහයා ඔක්තෝබර් 26 වන දින සිට 8 වැන්නට පැමිණ ඒරාශ්ටක ස්ථානයේ ගමන් කරයි. ඔබට වසර 2 ½ ක පමණ ඒරාශ්ටකයක් දැනට ඇරඹී ඇත. සෙනසුරුගේ දශානුදශා තත්වයන් පවතින අය විශේෂයෙන්ම සැලකිය යුතු කාලයකි. කුජ ග්‍රහයා ඒරාශ්ටක කාල සීමාව තුල කන්‍යා රාශියේ සතුරුව ගමන් කරයි.
   7 අධිපතියා 5 වැන්නේ ගමන් කිරීම හා 5 වැන්නාධිපති බුද ග්‍රහයා 7 වැන්නේ ගමන් කිරීමක් සිදුවන මේ කාලය තුල දරුවන්ගේ දියුණුවට අදාලව යහපත් ක්‍රියාමාර්ග ගැනීමට අවකාශ ඉඩකඩ සැලසේ.  ඇතැම්විට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල  පෙල ගැස්මක් මේ කාලය තුල සිදුවිය හැකිය. එසේම රෝග අනතුරු හා වැටීම් තැලීම් ආදි උපද්‍රව සහගත තත්වයක් බලපෑ හැකි බැවින් මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න. ගුරු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ සිකුරු සමඟ සංයෝග වී සිටීම තරමක අසුභපල උදා කරන තත්වයකි එනම් ශල්‍යකර්මයකට ඉඩකඩ සලසන අවස්ථාවක්ද ඇතිවිය හැකිය. උගුර, බෙල්ල ආශ්‍රීතව රෝග පීඩා වලින් පෙළෙන අය විමසිල්ලෙන් කටයුතු කරීම මැනවි. රෝග තත්වයන් ඇති වීමට අවකාශ සලසන ග්‍රහ පිහිටීමක් වශයෙන් ශනිගේ ඒරාශ්ටකය ඇරඹී තිබීම මෙහි විශේෂත්වයකි. මැණික් හා පතල් කර්මාන්ත වල නිරත වන අයට ද ජලය හා ගින්දර ආශ්‍රිතව කටයුතු කරන අයට ද මේ කාලය තුල ධනලාභ සහිත කාලයක් වුවත් උපද්‍රව සහිත කාලයක් බව පෙනේ.

ගෘහ ජීවිතය
අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ට මේ කාලය තුල සුභපලදායකය. විශේෂයෙන්ම ඉගෙනීමේ කටයුතු වල යහපත් දියුණුවකට මපාදයි. ඉඩකඩම්, ගේ දොර ආදිය පිළිබඳව ගැටළු සහගත තත්වයන් පවතින අයට නොවැම්බර් මස මුල් භාගයේදී යහපත් ජයග්‍රහණයකට ඉඩකඩ සලසන බවක් පෙනේ. සතුරු කරදර යම් තරමකට මඟහැරී යන කාලයකි. සහෝදරයෙකු සමඟ පැවති මතභේදකාරී තත්වයක් මේ කාලය තුල විසඳා ගැනීමට  ඉඩකඩ සැලසේ. ගේ දොර හා ඉඩකඩම් මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට විශේෂයෙන්ම ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ ඉඩකඩ සලසයි. වස්තු ලාභ ගෙනදෙන තත්වයක් මේ කාලය තුල බලපායි.  නොවැම්බර් 2 වන දින සිට 24 අතර අතර කාල සීමාව තුලදී හදිසි වස්තු ලාභ හෝ බලාපොරොත්තු ඉටු වීමකට ඉඩකඩ සලසන බවක් පෙනේ.

රෝග පීඩා
ලේ  විෂ වීමෙන් ඇතිවන රෝග පීඩා වලට ගොදුරුවිය හැකිය.  ලේ සෙලවීම හා හදිසි අනතුරු මෙන්ම විදුලි අනතුරු සිදු වීමේ ඉඩකඩ පවතී. දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන වෘෂභ ලග්න හිමියන් තම ආහාර පාන වලින් ආරක්ෂාකාරීව  කටයුතු කරන්න.

දශානුදශා තත්වයන්

බුධ, සිකුරු හා සඳුගේ දශානුදශා තත්වයන් පවතින අයට මංගල යෝග සහ ඥාතී උපකාර වැනි තත්වයන් බලපායි. කුජ, ශනි දශානුදශා තත්වයන් ප වතින අයට රෝග පීඩා, ශල්‍යකර්ම හා හදිසි අනතුරු ඇතිවිය හැකිය. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ චන්ද්‍රයා 4, 5, 6 ස්ථාන වල සිටියේ නම් නොවැම්බර් 16 වන දිනට පසු වස්තු ලාභ ආදියට ඉඩකඩ සලසන අතර ඉඩකඩම් ගේ දොර ආදිය පිළිබඳව වාසනාව ඉස්මතු වේ. 

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....




1 මේෂ ලග්නය  2017 නොවැම්බර්


මේෂ ලග්නය
    දීර්ඝ කාල සීමාවක් පුරාවට පැවති සෙනසුරුගේ ඒරාශ්ටක තත්වය ඔක්තෝබර් 26 වන දිනත් සම නිමාවට පත් වී ඇත. ශනි ඒරාශ්ටකය අවසන් වීමෙන් පසුව ඔබට යහපත් වූ දශා තත්වයක්  පවතී නම් බොහෝ දුෂ්කරත්වයන් සහ කඩඉම් ජය ගැනීමේ හැකියාවක් සලසන බවක් පෙනේ.

රැකියාව හා ආර්ථිකය
    නොවැම්බර් මාසය එනම් නොවැම්බර් 29 වන දින දක්වාම ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ ග්‍රහයා 6 වැන්නේ දුබල වූ රාශි ස්ථානයක් ඇසුරු කරමින් සිටී. තරමක මානසික සංහිඳියාව බිඳවැටෙන කාල සීමාවක් වශයෙන් මේ කාලය ඔබට බලපායි. ඇතැම්විට සතුරු බලපෑම් සහිත කාලයක්  විය හැකිය. ශරීර සෞඛ්‍ය තත්වය පිළිබඳව ඇතැම්විට මන්දෝත්සාහයකින් යුක්ත වන අතර සිකුරු බලවත් වීම ඔබේ ජීවිතයට යහපත් තත්වයක් උදා කිරීමේ හැකියාවක් ඇති වේ. 

නොවැම්බර් 2 වන දින සිට සිකුරු 7 වැන්නේ බලවත් වූ රාශි ස්ථානයක හැසිරීම නිසා බුද්ධිමය වශයෙන් ඉදිරිපත් වන දේවල් ජය ගැනීමට ඉඩකඩ වාසනා ගුණය සැලසේ. තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ හා තරඟකාරී ඉදිරිපත් වීම් වලින් ජයග්‍රහණ සලසා ගැනීමට ඉඩකඩ සැලසේ. වෙළඳ ව්‍යාපාර වල නිරත වන අයට මෙන්ම නිශ්පාදන කටයුතු වල නියැලෙන අයට තම ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීමට හෝ පහසුකම් සලසා ගැනීමට හෝ හැකියාව සලසන බවක් පෙනේ.  ගේ දොර ඉඩකඩම් පිළිබඳව ප්‍රශ්ණ ඇති අයට මේ කාල සීමාව යම් යම් සතුරු කරදරකාරී තත්වයන් ඇති කරයි. ඔබ පදිංචි භූමියේ යම් අලුත්වැඩියා කටයුත්තක් හෝ දෝෂ නිවාරණය කර ගැනීමකට හෝ ඉඩකඩ වාසනාව සැලසේ.

ගෘහ ජීවිතය
   විවාහ වීමට ඉඩකඩ සලසන මේ කාලය තුල බොහෝවිට මංගල යෝග සහිත කාලයක් බව පෙනේ. 7 වැන්නේ ගුරු බුද ග්‍රහයින් ගමන් කිරීම හා  සෙනසුරුගේ ඒරාශ්ටකය අවසන් වීම යන කරුණු පදනම්කොට ගෙන  විවාහ තීන්දු තීරණ ආදිය ගලපා ගැනීමට අවකාශ සැලසේ. වැඩිහිටියන්ගෙන් කෙනෙකුට යම් යම් උපද්‍රව සහගත කාලයක් මේ කාල සීමාව තුල බලපායි. මෙතෙක් අතහිත යොමුකොට සමීපව කටයුතු කළ අයෙකුගේ වියෝවක් සිදුවීමේ අවකාශ පවතී.

රෝග පීඩා
උදරගතව වැල‍‍ඳෙන රෝග පීඩා සහ බඩවැල් ආශ්‍රිතව රෝග පීඩා ආදියට මේ කාලය තුල ගොදුරු වේ. ඇතැම්විට ශල්‍යකර්මයකට ගොදුරුවන අවස්ථාවක් ඉස්මතු වන අතර සෙම් රෝග වලින් පීඩා විඳින අය ප්‍රවේශම් විය යුතුය.

දශානුදශා තත්වයන්
   රවි, බුද , සිකුරු දශානුදශා තත්වයන් පවතින අයට මේ කාලය තුල මානසික සතුට සහ තම පදිංචි භූමියේ දියුණුව සලසන ආකාරයක් බලපායි. කුජගේ දශානුදශා පවතින අයට හදිසි අනතුරු රෝග පීඩා ආදිය ඇති කරයි. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 5, 6, 7 ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 16 වන දිනට පසු සතුට, සෙනෙහස, ආදරය අත්විඳීමට ඉඩකඩ සැලසේ. කරදර ක්‍රමයෙන් අඩුවන ස්වභාවයක් ඉස්මතු වේ. 

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....